සතුට, සෞභාග්‍යය, නිරෝගී බව සහ සම්පත් සාධනය සඳහා මඟ හෙළි කරගත හැකි මාධ්‍යක් වශයෙන් පූජාර්ථයෙන් මෙන්ම විනෝදාර්ථයෙන් ද ප්‍රායෝගික ව්‍යවහාරයේ පවතින නර්තන කලාව මානව ශිෂ්ටාචාරය ආරම්භයටත් පෙර එනම් පූර්වජ මානවයාගේ සිටම අඛණ්ඩ ප්‍රවර්ධනයකින් යුක්ත වූවකි. තාලයට හෝ රිද්මයට අනුව කෙරෙන ශාරීරික ප්‍රතික්‍රියාව නිරායාස කාර්‍යයකි. ඒ සඳහා ඇති උත්තේජනයත්, එමගින් ඇති කරනු ලබන අනිවාර්ය පෙළඹුමත් සහජ ලක්ෂණයකි .
භූගෝලීය මෙන්ම දේශගුණික සාධකයන්ගේ බලපෑම ද කරණ කොටගෙන එකිනෙකින් වෙනස් වී එක් එක් ජාතීන් සහ ජනවාර්ගිකයන් සතුව පවතින ඔවුන්ගේ අනන්‍යතාව ප්‍රකට කරවන නර්තනයන්ගේ සංඛ්‍යාව කොපමණ වේදැයි මෙතෙක් කවරෙකු විසින් හෝ ගණනය කර නැත. ඒවායෙන් සමහරක් මේ වන විට අභාවිතය. ඇතැම් ඒවා මූලික ස්වරූපයට වඩා බෙහෙවින්ම වෙනස් ය. තවත් කොටසක් වෙනත් රටවල නැතහොත් වෙනත් ජාතීන් සතු එවැනිම අංගෝපාංගයන් සමඟ සම්මිශ්‍රණය වී නවතම ස්වරූපයකින් පෙනී සිටිති. සංස්කෘතික සාධකයක් කරණ කොටගෙන එකිනෙකින් වෙනස් ව පෙනෙතත්, ලෝකයේ සියලුම නර්තනයන් එකම අරමුණක් කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන හෙයින් එය එකම මූලයකින් උපන් බවට නම් සැකයක් නැත.
කවර සංස්කෘතියකට අයත් වුවද නර්තනය එකී රටෙහි නැතහොත් ජන කොට්ඨාසයෙහි හදවතේ රිද්මයයි. චලනය චලනයට වඩා ප්‍රබල වන හෙයින් ඔවුන්ගේ හැඟීම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සහ ආශාවන් චලනය මාධ්‍ය කොටගෙන නර්තනය මඟින් ප්‍රකාශ කරයි.
ඉන්දියානු, ජපන්, චීන, ඉන්දුනීසියානු, තායිලන්ත, යුරෝපානු ලෙස වූ විවිධ නර්තනයන් එකිනෙකට ආරෝපිත වූ භූගෝලීය සීමා ඔස්සේ චලනය ගොඩනඟයි.
ඉන්දියානු නර්තන
ඉතාමත් පැරණි සභ්‍යත්වයකට හා සංස්කෘතියකට හිමිකම් කියන්නා වූ නර්තන කලාවක් ලෙස ඉන්දියානු නර්තනය හැඳින්විය හැක. ඉතිහාසය තුළ බොහෝ විපර්යාසයන්ට භාජනය වුවද අද්‍යතනයේදී වුවද තමන්ගේම වූ අනන්‍යතාවයක් පවත්වා ගනිමින් නර්තන කලාව රැක ගන්නට ඉන්දියානුවෝ සමත්ව සිටිති.
භරත නාට්‍යම්
භාරතයේ පවතින නර්තන සම්ප්‍රදායන් අතරින් පැරණිතම නර්තන සම්ප්‍රදාය වශයෙන් පිළිගන්නා භරත නාට්‍යම් වූ කලී කාන්තාවන් සඳහාම සුවිශේෂි වූ නර්තන ක්‍රමයකි. මෙය මුල්ම අවධියේ දී රඟ දක්වන ලද්දේ දේවදාසීන් විසිනි. ඔවුහු දේවාලය වල හා රජ මාළිගාවල භරත නාට්‍යම් රඟ දැක්වීමෙහි යෙදී සිටියෝය. භරත නාට්‍ය සම්ප්‍රදාය තුළ 'නෘත' යන කොටසට අදාල වන මූලික අඩව් පහලවක් පමණ ඇත. ' තට් අඩව්, නාට්‍ය අඩව්, කුදිට්ටමෙට්ට අඩව්, මණ්ඩි අඩව්' යනාදී වශයෙන් ගැනෙන එකී අඩව් මනහර පාද, හස්ත චලනයන්ගෙන් ද විචිත්‍ර රංගවින්‍යාසයකින් ද යුක්තය. භරත නාට්‍ය සඳහා යොදා ගැනෙන්නේ දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයයි. එහි ප්‍රධාන වාද්‍ය භාණ්ඩය 'මෘදංගය' වන අතර වීණාව,වයලීනය, තාම්පුරාව සහ බටනලාව යොදාගනි. භරත නාට්‍යම් සම්ප්‍රදාය අද්‍යතනයේ පවතින ක්‍රමානුකූල තත්ත්වයට සකස් කිරීමේ ගෞරවය හිමිවන්නේ ''චින්නයියා, පොන්නයියා, වඩිවේලු, ශිවනාදන් යන සහෝදරයන් සතර දෙනාටයි.
කථකලි නර්තනය
දකුණු ඉන්දියාවට ආවේණික නර්තන ක්‍රමයකි. මෙහි නිජබිම ලෙස සැලකෙන්නේ කේරලයයි. අනෙකුත් නර්තනයන්ට සාපේක්ෂව සලකා බැලීමේදී කථකලි නර්තනය දීර්ඝකාලීන ආයාසයකින් ප්‍රගුණ කළ යුතු දුෂ්කර ව්‍යායාම් පද්ධතියකින් යුතු නර්තන විශේෂයකි. කථකලි නර්තනය මගින් කිසියම් කතා පුවතක් විකාශනය කෙරෙන හෙයින් මෙය එක්තරා ආකාරයකින් නෘත්‍ය නාටක විශේෂයක් ලෙස හඳුන්වා දීම සාධාරණය. 'මහා භාරතය, රාමායණය' වැනි වීරකාව්‍යයන් 'භගවත්ගීතාව' ආදී භක්ති කාව්‍යයන් කථකලි නර්තනයේ අංගයන් ගොඩනඟා ගන්නට වස්තු බීජ සපයයි. කථකලි නර්තනය සඳහා යොදාගන්නෙත් 'දකුණු ඉන්දීය කර්ණාටක සංගීත සම්ප්‍රදාය වන අතර තාල වාද්‍ය භාණ්ඩය චෙන්ඩාවයි. මීට අමතරව 'මද්දලය,එඩැක්ක, එලතාලම්, චෙංගලා' වැනි භාණ්ඩ යොදාගනු ලැබේ. කතකලි නර්තනයේ වෙස් ගැන්වීමේ ක්‍රමය අනෙකුත් නර්තන සඳහා කරනු ලබන වෙස්ගැන්වීම් ක්‍රම වලට වඩා සපුරා වෙනස් සුවිශේෂ වූවකි.
කතක් නර්තනය
උත්තර භාරතිය නර්තන ක්‍රමයක් වන කතක් නැටුම මුල් යුගයේදී ආරම්භ වී ඇත්තේ දේවාල නර්තන ක්‍රමයක් වශයෙනි. 'මහාභාරතය,රාමායනය' වැනි වීරකාව්‍යයන්ගේ එන කතා පුවත් කියාපාමින් ඒ අනුව නර්තනයේ යෙදීම නිසා මෙම කලාව 'කතක්' නම් විය. කතක් නැටුම හා බැඳි ප්‍රධාන සංගීත ක්‍රමය වන්නේ හින්දුස්ථානී සංගීතය වන අතර ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය 'තබ්ලාවයි'.
මණිපුරි නර්තනය
මණිපුර මිටියාවත් නිජබිම වූ මණිපුර නර්තනය විසිවන සියවසේ රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ මැදිහත් වීමෙන් පසු පුනර්ජීවනයක් ලැබූවේය. මණිපුරි නර්තනයෙහි 'තාණ්ඩව, ලාස්‍ය' මූලිකාංග දෙකම අන්තර්ගත වුවද වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ ශෘංගාරාත්මක ලාස්‍ය නැටුම් අංගයන්ය. මණිපුරි නැටුම් සම්ප්‍රදායේ ප්‍රධාන ප්‍රභේද හතරක් දක්නට ලැබේ. එනම්, " ලායිහරෝබා, රාස්ලීලා, චලන් ගතන්, අස්ත්‍ර විද්‍යා" යනුවෙනි. මණිපුරි නර්තනයට තේමා වී ඇත්තේ රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තයයි. මණිපුරි නර්තනයට අදාළ සංගීතය වන්නේ "උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතයයි".
කුච්චිපුඩි නර්තනය
දකුණු ඉන්දියානු සම්භාව්‍ය නර්තන ක්‍රමයක් වන කුච්චිපුඩි නර්තනය ආන්ද්‍ර දේශය නිජබිම කොට ප්‍රභවය ලැබූවකි. පුරා කතාවන්ට අනුව මෙහි ආදී කර්තෘ වන්නේ ක්‍රිෂ්ණ භක්තික "සිද්ධේන්ද්‍ර යෝගි" ය. සෑම නර්තනයකදීම දෙවියන්ට හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයන්ට පූජෝපහාර කිරීමේ ගායනා හා නර්තන යෙදීම සාමාන්‍ය ලක්ෂණයකි. එසේ වුවද නර්තන නිර්මාතෘවරයා කෙරෙහි භක්ති ප්‍රණාමය දක්වන එකම නර්තන ක්‍රමය කුච්චිපුඩි නර්තනය බව මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතා පෙන්වාදෙයි. එමෙන්ම මෙකී නර්තනයේ එන නර්තනාංග නාට්‍යමය ගණයෙන් ඉතාම පොහොසත්ය.
ඔඩිසි නර්තනය
ඉන්දියාවේ ඔරිස්සා නම් ප්‍රාන්තයේ ව්‍යවහාරයේ පවතින සම්ප්‍රදායික නර්තන ක්‍රමයකි. ඔඩිස්සි නර්තනය "මහරි" නම් වූ දේවදාසින් විසින් පවත්වාගෙන ආ නර්තනයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. මුලික පාද භේද හතරක්, භූමි පහක්, බෙලීස් හෙවත් ප්‍රධාන ශරීර ස්වරූප අටක් අන්තර්ගත වන ඔඩිස්සි නර්තනය ඉතාමත් අසීරු පාද ප්‍රභේදයකින් හා සම්ප්‍රදායික පද මාලාවකින් සමන්විත නර්තන කලාවකි.
ඔඩිස්සි නර්තනයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනුයේ "ත්‍රිභංගි" හෙවත් ශරීරය පෙන්නුම් කරන "තිවංක" පෙනුමයි. භරතමුණියේ නාට්‍ය ශාස්ත්‍රයේ පෙන්වා ඇති කරණ 108 ඉතා පැහැදිලිව මෙම නර්තනයේ දක්නට ලැබේ.
චාව් නර්තනය
එරිස්සාව, බිහාරය සහ බටහිර බෙංගාලය යන ප්‍රදේශවල දක්නට ඇති චාච් නර්තන ක්‍රමය භාරතීය වෙස්මුහුණු කලාව ද සම්බන්ධව වන නර්තන ක්‍රමයකි. මෙම නර්තනය පුරුෂ පක්ෂයට පමණක් සීමා වූ නර්තනයකි. එසේ වෙතත් අද්‍යතනයේ දී ස්ත්‍රීහු ද මෙම නර්තනය අභ්‍යාසය සඳහා ඉදිරිපත්ව සිටිති.
ඉන්දියානු ජන නැටුම්
- ආන්ද්‍ර දේශය - කේලිකා, කුචුපුඩ්, යක්ෂගාන, කුරවංචි
- ද්‍රවිඩ ප්‍රදේශය - කුම්මි, කෝලාට්ටම්
- මණිපුරිය - මියි තෙයි, බිනු, හුවාරි, ධූලියා, බවාරියා, දේවධානි, බෝඩෝ කචරි, ලූෂායි
- ගුජරාට - ගර්භී, රාස්, ගර්භා
- කර්ණාටක ප්‍රදේශය - යක්ෂ ගාන, කෝල්කලි, තේරයාට්ටම්, පනංකලි
චීන නර්තන
ලොව වැඩිම ජනගහනයක් ජීවත්වන රාජ්‍ය වන චීනයේ නර්තන කලාව පිළිබඳව ලැබී ඇති සාධක අවුරුදු 4000කටත් වඩා පැරණිය. "හුයි හයි" නැමැති සෞන්දර්යවේදියා චීන නර්තනයන්ගේ ඓතිහාසික ප්‍රභවයන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්නෙකු වන අතර ඔහුගේ සොයා ගැනීම් වලට අනුව අතීතයේ සිටම නර්තනය චීන පොදු ජනයාගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වශයෙන් පැවතී ඇත. අද්‍යතනයේ චීනයේ දක්නට ලැබෙන "යැන්කෝ" සහ "ගුවාකියෝ" වැනි නර්තන සම්ප්‍රදායන් චීනයේ ඈත අතීතයේ සිටම පැවත ආ සම්ප්‍රදායික නර්තනයන්ගේ සාරයයි.
අද්‍යතනයේ ප්‍රචලිත චීන නර්තන
- චීන මල් නැටුම
- රිබන් නැටුම
- පිහාටු අවාන් නැටුම
- චන්ද්‍ර මාලිගාවේ සුරංගනාවෝ
- බුදුන්ගේ දහසක් හස්ත
- සිංහ නැටුම
- චීන මකර නැටුම
- පීකිං ඔපෙරාව
ජපන් නර්තන
ජපානය තමන්ගේ ඓතිහාසික උරුමයන්ට ගෞරව කරන ඒවා ඒ සැටියෙන්ම ආරක්ෂා කිරීමට කැමැත්තක් දක්වන ජනතාවක් වාසය කරන රටකි. සම්ප්‍රදායික නර්තනයන් සදහා නූතන තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු ලබන්නේ වුවද ඒවායේ සම්ප්‍රදායික ලක්ෂණයන් කෙරෙහි එකී තාක්ෂණික ක්‍රමවේද හෝ මෙවලම් හීනදායක අයුරින් බලපාන්නට කිසිදු ඉඩක් නොතැබීමට ජපන් ජනතාව වග බලාගෙන ඇත.
ජපන් නර්තනාංග
- බුගකු නර්තනය
- ගුගකු නර්තනය
- ඩෙන්ගකු නර්තනය
- එන්නෙන් නර්තනය
- නෝ සහ කියෝගෙන් නර්තනය
- කබුකි නර්තනය
අප්‍රිකානු නර්තන
ලෝකයේ අනෙකුත් නැටුම් සම්ප්‍රදායන් හා සාපේක්ෂව විමසා බැලීමේදී අප්‍රිකානු නර්තනයන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එකී නර්තනයන් ඉදිරිපත් කිරීමේදී අවනද්ධ භාණ්ඩ නොඑසේ නම් විවිධ බෙර වර්ග ඔවුන්ගේ සංගීතයේ මූලික පදනම ලෙස යොදාගෙන ඇත. අප්‍රිකානු නර්තන ශරීරය යොදා ගෙන කරනු ලබන පූර්ණ ප්‍රරකාශනයකි. උරහිස, පපුව, උකුල, අත් හා පාද විවිධ ආකෘතීන් හා විවිධ ක්‍රම ශිල්පයට අනුව ඉතාමත් සංකීර්ණ ලක්ෂණයන්ගෙන් යුක්තව චලනය කරනු ලැබේ.
අප්‍රිකානු නර්තනයන්
- ඇග්බෙකෝර් නර්තනය
- නමානි නර්තනය
- යබාරා නර්තනය
- යැන්කාඩි නර්තනය
- මැක්‍රූ නර්තනය
- කැපැන්ලෝගෝ නර්තනය
- අගානු නර්තනය
- ගම්බුට්
ඉන්දුනීසියානු නර්තන
නැටුම ජීවිතයේ වැදගත් කොටසක් ලෙස සලකන බාලි තරම් දිවයිනක් ඉන්දුනීසියාවේ තවත් නැත. බාලි වාසීන්ගේ සාමාන්‍ය ජීවිතයේ, ආගමික ජීවිතයෙත්, කලාවේත්, වෙනසක් දැකිය නොහැක. එහි යුරෝපයේ ඇමරිකාවේ මෙන් වෘත්තීමය වශයෙන් නැටුම් දක්නට නොලැබේ. ගොවියා, කුලී රියදුරා, ඇඳුම් මහන්නා, හරි දක්ෂ සංගීතඥයකු හෝ ලිපිකාර වෘත්තියෙහි නියැලි අයකු වුවද නැට්ටුවෙකු විය හැකිය. සත්‍ය වශයෙන්ම බාර්ලි වල නැටුම ජනතාවගේ කලා අංගයකි.
ඉන්දුනීසියානු නර්තනාංග
- ලෙගොන්ග් නර්තනය
- කෙට්ජැක් නර්තනය
- බාරෝන්ජ් නර්තනය
- බෙඩෝයෝ නර්තනය
- වායාන්ග් නර්තනය
- වොන්ග් නර්තනය
- තාරි ලිලින් නර්තනය
සමාජ නර්තන
කවර රටක වුවද ප්‍රාථමික වශයෙන් සමාජය හා සම්බන්ධ වූ නර්තනයක් දක්නට ඇත. ආගමික නර්තනයන් සියල්ලටම වඩා පිටස්තරව නිර්මාණය වූ සමාජ නර්තනයන් උපත හා මරණයත්, උපතේ සිට මරණය සිදුවන අවස්ථාව දක්වා අතරතුර කාලය තුළ සිදු වූ විශේෂ සිද්ධීන් සැමරීම සඳහා යොදා ගන්නා ලදී. එය අද්‍යතන සමාජ නර්තනයන් බිහිවීමේ අත්තිවාරම ලෙස සැලකිය හැකිය.
16-17 සියවස් වල යුරෝපයේ වංශවත් පවුල්වල ස්ත්‍රීන් හා පුරුෂයන් අතර තිබූ ජනප්‍රියතම නර්තනාංගයක් වූයේ "බෝල් රූම් නර්තනයයි". මෙකී නර්තනය වංශවත් පවුල් වල අයට සීමා වී තිබුන ද 18 19 සියවස් වල දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ම එය පොදු ජනයා අතට පත්විය. සමාජ නර්තන එහි ආකෘතික ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැක.
සමාජ නර්තනයන්
- වෝල්ට්ස් නර්තනය
- ටැන්ගෝ නර්තනය
- ෆොක්ස්ට්‍රෝට් නර්තනය
- ක්වික් ස්ටෙප් නර්තනය
- වැනිසි වෝල්ට් නර්තනය
- ලතින් ඇමරිකානු සමාජ නර්තන
- චා චා
- සම්බා
- රුම්බා
- පැසොඩබල්
- ජිව්
- සල්සා
- ස්වින්ග් නර්තන
- ලින්ඩ් හොප්
- ඊස්ට් කොස්ට්
- හොප්
අවශේෂ නර්තන
- හසල්
- ආජන්ටිනි
- පොල්කා
- මිරෙන්ගු
- ටූ ස්ටෙප්
- ටැන්ගෝ
- ෆ්ලැමින්ගෝ
- මැම්බෝ
- චියබොඩි ඩාන්ස්
- ට්විස්ට්
බටහිර බැලේ නර්තනය
බැලේ නර්තනය සංගීතයට අනුව රඟහලක් නැතහොත් වේදිකාවක් මත කරන්නා වූ නර්තන වෙසෙසකි. මෙමගින් හැඟීම් ප්‍රකාශනයක්, කතාවක් ගෙනහැර දක්වයි. මෙහි සංගීතය රිද්මයානුකුලය. සරලව රඟ දැක්වීමක් සිදු කෙරේ . බැලේ නර්තනය දීර්ඝ කාලයක් ප්‍රගුණ කළ යුතු මානව අභ්‍යාසයේ නිරත විය යුත්තකි. 1400දී පමණ ආරම්භ වූ ඉතාලියේ පුනරුද සමයේ කලාව පිළිබඳව ඇතිවූ ප්‍රබල උවමනාව, අවශ්‍යතාවය නිසාම ආදිපාදවරුන්ද, රාජකීයන්ද, නර්තනය විනෝද මාර්ගයක් ලෙස යොදා ගන්නා ලදී.
වාර්තාගත වී ඇති ප්‍රථම බැලේ නර්තනය 1489 දී ඉතාලියේ ටෝටනෝ නගරයේ රඟදක්වන ලද, " ජේසන් සහ රන්ලෝම බැටළුවෝ" නම් වේ. බැලේ නර්තනයක් පොදුජනතාවට දැකගන්නට අවස්ථාවක් ලැබුනේ 1622 දී ඉතාලියේ රඟදක්වන ලද ප්‍රසිද්ධ රංගනයක් මගිනි. 1760 පමණ කාලය වන විට ප්‍රංශයේ වෘත්තිමය ශිල්පීන් ප්‍රසිද්ධ රංගන පැවැත්වීම ආරම්භ කොට තිබූ අතර බැලේ නර්තන කලාව අතිශය ජනප්‍රිය නර්තනාංගයක් ලෙස ජනතාව විසින් වැළඳගෙන තිබුණි. 20වන සියවසේ ආරම්භයත් සමඟ ඇති වූ ප්‍රවණතාවයන් ලෙස "මුද්‍රා නාට්‍ය " කෙරෙහි කාන්තා ප්‍රවේශය ඇති වීමද, කාන්තාවන් ඇඟිලි තුඩු මතින් හිඳ කරනු ලබන නර්තන ශිල්ප ක්‍රමය බැලේ නාටකය සඳහා යොදා ගැනීමද විශේෂ වේ.
❤️
ReplyDelete❤️🔥
ReplyDelete❤️🌷
ReplyDelete