Thursday, July 28, 2022

නර්තනයේ ගෝලීයකරණය




ගෝලීයකරණ සංකල්පය මත ලොව සියලුම සංස්කෘතික සංඝටකයන් ජාලකරණයට ලක් විය. ඒ ඔස්සේ සියලුම කලා සංස්කෘතීන් නවීකරණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එය මානුෂීය ක්‍රියාකාරකම වලට යහපත් හා අයහපත් අයුරින් බලපානු ලැබීය. විශ්වීය සංකල්ප කේන්ද්‍රකර ගනිමින් සියලු කාර්යයන් ආර්ථිකය මත සමාජගත වුණි.  ඒ ඔස්සේ ප්‍රාසාංගික කලාව ද නව්‍යතාවයකින් යුතුව සමාජය තුළ මානුෂීය වින්දනය ලබා ගත හැකි අයුරින් සංවර්ධනය විය.


පූර්ව ගෝලීයකරණ යුගයන්හි කලාව යනු සියලු සමාජ ඒකාග්‍රතාවක ට ගෙන යා හැකි විශ්මිත මාධ්‍යකි.  ප්‍රශස්ත නිර්මාණ රචනයක්, නර්තනයක්, සංගීතමය ප්‍රයත්නයක් විඳීමට මුළු මහත් සමාජයක් ම පැමිණෙන අතර තත් සමාජයේ මිනිසුන් අතර ආනන්දයත්, ඒකාග්‍රතාවයත් ඇති කරගන්නට එකී කලා නිර්මාණ තුළින් ලද දායකත්වය වැදගත් කොට සැලකිය හැකිය. පවතින සමාජ ගතිකයන් ආරක්ෂා කිරීමට වඩා ආගමික, අධ්‍යාපනික, දේශපාලනික ක්ෂේත්‍රයන් ඔස්සේ එම සංකල්පයට  නව්‍යකරණයක් ලබාගැනීමට ගෝලීයකරණ ක්‍රියාවලිය තුළින් හැකි වී ඇත.


ගෝලීය සංස්කෘතික ක්‍රියාවලියේදී නර්තනයේ කලාත්මක ක්ෂේත්‍රය ඉහළ මට්ටමක පවතිනු ලැබේ. විවිධ කලාප වල විවිධ ජාතික තලවල ප්‍රාදේශීය මට්ටම්වලින් සංස්කෘතික කලාත්මක වශයෙන් වූ අන්තර් ක්‍රියාකාරීත්වයේ බැඳී පවතී. මෙම ක්‍රියාකාරීත්වය ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ව්‍යුහයක් ඔස්සේ ව්‍යාප්තව ඇත.  මෙය බලසම්පන්න වූ දැවැන්ත ව්‍යුහයක් ඔස්සේ එකට ඒකාබද්ධ වී අන්තර් සම්බන්ධතා ගොඩනඟා ගනු ලැබේ. මෙම ව්‍යුහය තුළ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති පමණක් නොව, සෞන්දර්යාත්මක ගතිකයන් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව සංගීතය, නර්තනය ආදි වින්දනාත්මක පාර්ශවයන් පවා මෙකී බල ව්‍යූහයේ ප්‍රාග්ධන සැපයුම්කරුවන් බවට පත්ව ඇත.


ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස නවීන තාක්ෂණය හා ජන මාධ්‍යයේ සිදු වූ ප්‍රසාරණයක් නිසා ජනප්‍රිය සංස්කෘතිය යනුවෙන් ප්‍රබල සංස්කෘතිමය කතිකාවතක් නිර්මාණය කරලීමට බහුජාතික සමාගම් උත්සාහ දැරීය. එහි ප්‍රතිඵලයක් ලෙස පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, චිත්‍රපට, සඟරා ඔස්සේ නර්තනය ජනප්‍රිය වූ සංස්කෘතික අංගයක් වශයෙන් සමාජයට හඳුන්වාදෙනු ලැබීය. මෙසේ බිහි වූ නිර්මාණයන් තුළ නොගැඹුරු වින්දනය, පටු ආකල්පය, සුලභ චින්තනය, පටු සමාජ ගතිකයන්, වාණිජත්වය,  රසයන් අද්භූත ලෝකවල ප්‍රසිද්ධ කරවීම වැනි මූලික ලක්ෂණයන් ජනතාවගේ මනස තුළ පෝෂණය කළේය.


යුරෝපය, ඇමරිකාව, ජපානය, චීනය වැනි රටවල සංස්කෘතික ප්‍රවාහ විසරණයත් සමඟ ගොඩනැඟුණු ආධිපත්‍ය හරහා නර්තනයටද මෙහි සංකල්පීය ප්‍රවේශය ප්‍රබලවම බලපානු ලැබේ. මෙහිදී සම්ප්‍රදායක, ජාතික හෝ ප්‍රාදේශීය මට්ටම්වලින් පවත්වනු ලබන නර්තනයන් සඳහා වෙළෙපොළක් අවශ්‍ය වුණි. මෙසේ ගෝලීය වෙළඳපොළක් මත ගොඩනැගුණු නර්තනයේ රසඥතාවන්ද ගෝලීය සංස්කෘතික බලවේග ඔස්සේ ක්‍රියාත්මක වේ.


නර්තනය අද්‍යතනයේ බහුල වශයෙන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශනය වනු ලබන අතර මේ තුළ වඩාත්ම ජාතික මට්ටමින් නැඹුරුවනු ලබන නර්තනාංග පවතී. ගෝලීය සංස්කෘතිය පදනම් ව ඇත්තේ විඥණිකත්වය හා (mass culture) බහු ජන සංස්කෘතිය හරහා ය. අද්‍යතනයේ (mass art) බහුජන කලාව ගුණාත්මක වශයෙන් නොව, සරල වශයෙන් ක්‍රියාත්මක වූ අවශ්‍යතාවන් මත පදනම් ව ඇත. මෙහිදී පාරිභෝගික ඉල්ලුමට ගැලපෙන රසඥතාවන්  ලබාදීම සඳහා කරනු ලබන නර්තන වැඩසටහන් අතර පරිසංකල්පය මත පදනම් වූ වැඩසටහන් වන තරු වැඩසටහන් (Star Programme) වැදගත් වේ.


මිනිසුන්ට ගැලපෙන සංස්කෘතික අනන්‍යතාවයකින් තොරව බහුජන ප්‍රේක්ෂකත්වය (Mass Audiences) යටතේ, බහුජන සංස්කෘතිය (Mass Culture) කේන්ද්‍ර  කරගනිමින් මිනිසුන්ගේ ගුණාත්මකතාවය පිළිබඳ නොසළකමින්, හැඟීම්වලට පමණක් වහල් වූ සංගීතයක් හා නර්තනයක් වර්තමානයේ මේ තුළින් ලබාදෙයි. දියුණු ලෝකය හමුවේ බහුජන සමාගම් හි ප්‍රාග්ධන ආයෝජකයින් බවට අද්‍යතනයේ ප්‍රාසංගික කලාව ගොඩනැගී ඇත. මෙවැනි ක්‍රමෝපායන් ඔස්සේ සම්භව්‍ය නර්තන කලාවට ඒ අයුරින්ම සමාජය තුළ නැගී සිටීමට නොහැකි අතර නූතන ක්‍රමෝපායන් ඔස්සේ එය නව්‍යකරණය වනු ඇත. බටහිරකරණයත් සමඟ ගොඩනැංවූ සංස්කෘතික විපර්යාස ඔස්සේ විවිධ සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්, රංගක්‍රම, චලන රටා, වේශනිරූපනය ආදී සෑම අංගයක්ම බටහිරකරණයට නතු විය. නර්තනයේ  සියලු ක්‍රියාදාමයන් ජාලයක් මත ක්‍රියාත්මක වන අතර ආර්ථික, සමාජයීය ප්‍රතිපත්ති පවා මෙහිදී ගෝලීයකරණයට හසු වී ඇති බැවින් එය ඔස්සේ දේශපාලන වශයෙන් ගෝලීය නර්තනය සඳහා විශේෂව ගනු ලබන සංස්කෘතික ප්‍රතිපත්ති පවා මෙහිදී දුර්වලව පවතී. ඒ අනුව සෑම සමාජයක්ම සංස්කෘතික වෙනස්කම් දේශපාලනික අනන්‍යතාවය මත සිදු කෙරේ. පසුකාලීනව පුළුල් ව ප්‍රසාරණය වී ජාත්‍යන්තරය කරා සංතර්පනය වේ. වාණිජකරණයත් සමඟ සංස්කෘතික නිෂ්පාදන හෝ මානවකෘති ප්‍රචාරය ජනමාධ්‍ය තුළින් වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස සිදුවිය. ඒ අනුව සියලුම ක්ෂේත්‍රවලට මෙකී ක්‍රමයට අනුව ජීවත් වීමට සිදු වූ අතර ඉන් හිස එසවීමට අපහසු විය.


මේ අයුරින් බොහෝ බටහිර රටවලත්, ආසියානු රටවලත් නර්තන කලාවන් ප්‍රකාශන මාධ්‍යයක් මෙන්ම සමූහික වින්දන මාධ්‍යයක් ලෙස ද පෙනී සිටිමින් එකිනෙක අවකාශය සලසා දෙන වින්දන මාධ්‍යයක් ලෙස පෙනී සිටින අතර සංගීත ප්‍රසංග, බටහිර වාණිජවාදී චිත්‍රපට, රූපවාහිනිය ආදී ධනේශ්වර දෘෂ්ටිවාදී වෙළෙඳපොළ බලවේගවලට යටත් වීමට සිදුවේ. මෙහි දී බහුජාතික සමාගම් තමන්ට අවශ්‍ය වූ ආදායමක් ආයෝජනය කර ගැනීමට නර්තනය තුළින් බලාපොරොත්තු වේ.

1 comment:

විශ්ව නර්තනයේ ස්වරූපය

සතුට, සෞභාග්‍යය, නිරෝගී බව සහ සම්පත් සාධනය සඳහා මඟ හෙළි කරගත හැකි මාධ්‍යක් වශයෙන් පූජාර්ථයෙන් මෙන්ම විනෝදාර්ථයෙන් ද ප්‍රායෝගික ව්‍යවහාරයේ පව...